දයාසිරිගේ හැසිරීම හොයන්න කමිටුවක්


සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ඉකුත් 20  වැනිදා පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය   සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකරගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන අය කටයුතු කරති.

මෙම කමිටුව පත් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවටද  පෙරේදා (23දා)  දැනුම් දුන්නේය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පසුගිය 20 වැනිදා සභාගර්භයේදී මුලසුනේ අණ නොතකා රීති ප්‍රශ්න දිගින් දිගටම මතු කරමින් අදහස් දැක්වීම සහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සම්බන්ධයෙන් විවිධ කරුණු පළ කිරීම පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට මෙම කමිටුව පත් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සිද්ධිය වූ අවස්ථාවේදී සභානායක බිමල් රත්නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට

දෝෂාරෝපණය කළහ. අලු‍ත් මන්ත්‍රීවරියන් හෑල්ලු‍වට ලක් කරන්න එපා යැයි සභානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.