දක්ෂිණ අධිවේගී මාර්ගය: විවේක ප්‍රදේශය වසර 99 ටම බදු දී ඇත්තේ රුපියල් දහදාහකටයි


සමහරු ගෙදර යන්න පහසුවටත් අන්තර් හුවමරු හදලා - - ඇමති බිමල් හෙළිකරයි

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් 10,000කට බව ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (20දා) පැවසීය.

එසේම සමහරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදි කර ඇත්තේ තමන්ගේ ගෙවල්වලට යෑමට බව පැවසූ අමාත්‍යවරයා එම මාර්ගයට බිලියන ගාණක් නාස්ති කර ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

“දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස කෙරුණු කටයුතු ගොඩක් තියෙනවා. එම මාර්ගයටම තියෙන්නේ එකම එක විවේක ප්‍රදේශයයි. ඒ මුළු ප්‍රදේශයම අවුරුදු අනූ නවයටම බදු දීල තියෙන්නේ රුපියල් 10,000කට. රාජපක්ෂල තමයි මේවා කළේ. අපිට අද බණ කියනවා. සමහර අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදලා තියෙනවා. වෙන් කරපු නම් කරපු විවේක කලාප හදන්න රාජපක්ෂවරුන්ගේ ගෝල බාල නිලධාරීන් ඉඩ දුන්නේ නෑ. මේකට බිලියන ගණනාවක් නාස්ති කරලා තියෙනවා. නාස්තිකාර වියදම් අපේ සැලසුම්වල නැහැ.”