තොරතුරු ලබා නොදුන් ආයතන 9කට තොරතුරු කොමිසමෙන් නඩු


ගයාන් සූරියආරච්චි

තොරතුරු දැනගැනීමේ පනතට අනුව එම තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ලද අභියාචනාවලට අනුව කළ විභාගවලින් පසු එම තීරණවලට අනුකූල නොවූ පොදු අධිකාරි 9 කට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව පවසයි.

2019 වසරේ සිට මෙම වසර දක්වා වූ කාලසීමාවෙහි එකී නඩු පවරා ඇති බව එම කොමිෂන් සභාව කියයි. මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිට නොවැම්බර් මස 15 දින  දක්වා වූ මාස 11 ක කාලයෙහි රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවලින් තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් අභියාචනා 1538 ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

එම අභියාචනාවලින් අභියාචනා 1304 ක් විභාග කොට අවසන් නියෝග නිකුත් කර ඇති බවද සඳහන් වේ. 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට කළ ඉල්ලීමකින් පසු මෙම තොරතුරු අනාවරණය විය.

ඒ අනුව රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවලින් තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් ඉකුත් 2024 වසරේ අභියාචනා 1852 ක් කොමිෂන් සභාවට ලැබී තිබූ අතර එම අභියාචනා 1837 ක් විභාග කර අවසන් නියෝග නිකුත් කළ බවද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව කියයි.