තොරතුරු ඉල්ලීම් වැඩිවී ආයතන විස්සක් හිරවෙලා


සුජිත් හේවාජුලිගේ

ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව සහ විදුලි බල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන විස්සකට ආසන්න ප්‍රමාණයක  තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ලැබී ඇති ඉල්ලු‍ම්පත් දහස්  සංඛ්‍යාත ප්‍රමාණයක් පාලනය කර ගත නොහැකි අන්දමට ගොඩ ගැසීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

විශේෂයෙන්ම ජනතාව තොරතුරු වැඩි වශයෙන් බලාපොරොත්තු වන ජනාධිපති ලේකම් කාර්යාලය සහ පාර්ලිමේන්තුව යනාදී ආයතනවල මෙම තදබදය තදින්ම දක්නට ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ලැබී ඇති තොරතුරු ඉල්ලු‍ම්පත් සම්බන්ධයෙන් සොයා බලා අදාළ ඉල්ලු‍ම්කරුවන්ට තොරතුරු කඩිනමින් යොමු කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාළ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු පැවසුවේ සමහර තොරතුරු සොයා ගැනීමට වැඩි කාලයක් ගතවීම තොරතුරු ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයට හේතුව බවයි.

එසේම සමහර ප්‍රධානීන් යම් යම් තොරතුරු විවිධ හේතු මත  නොදෙන ලෙසට උපදෙස් නිකුත් කිරීම ද තොරතුරු ලැබීමේ ප්‍රමාදයට තවත් හේතුවක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට ඉල්ලු‍ම්පත් යොමු කළ බොහෝ පිරිසක් පවසන්නේ තමන්ට බොහෝ ආයතනවලින් තොරතුරු ලබාදීමක් නොකෙරෙන බවයි. සමහර ආයතන  තමන්ගේ අයැදුම්පත්වලට අදාළව පූර්ව දැනුම්දීම් කරමින් විවිධ ලිපි එවීම් කරන නමුත් තොරතුරු ලබාදීම මගහරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ඔවුහු සඳහන් කරති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය වහා මැදිහත්වී යාන්ත්‍රණයක් සකස් කළ  යුතු බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පිරිස් පෙන්වා දෙති.