තේ කර්මාන්තය: ලොකු වතුවල දායකත්වය පහළට


ප්‍රේමකීර්ති රණතුංග 

මේ වනවිට මෙරට තේ කර්මාන්තයෙන් සියයට හැත්තෑ පහක්ම නියෝජනය වන්නේ කුඩා තේ ඉඩම් හිමියන්ගෙන් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. 

පසුගිය සමයේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට තේ කර්මාන්තයේ බිඳ වැටීමක් දක්නට ඇති බවද මහා පරිමාණ තේ වතුවල දායකත්වය සියයට විසි පහ දක්වා පහළ ගොස් ඇති බවද ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.

ඉකුත් සතියේ ජනාධිපති අනුර දිසානායක සමග පැවැති අපනයන මණ්ඩල සාකච්ඡාවේ දී තේ කර්මාන්තය නගා සිටුවීමට ගත හැකි පියවර රාශියක් සාකච්ඡාවට බඳුන් කර ඇත. මේ වනවිට තේ අපනයනයේ දී මහා භාණ්ඩාගාරයට අයකර ගන්නා සෙස් බද්ද තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා නොලැබෙන බව ද එම බද්දෙන් කොටසක් තේ වගා කරුවන්ගේ ප්‍රශ්න විසඳීමට ලබා දෙන්නැයි ඉල්ලා සිටි බවද සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයා පැවසීය.