සුජිත් හේවාජුලිගේ
බලශක්ති අර්බුදය සමග විශ්වවිද්‍යාල මෙන්ම පාසල් පවත්වාගෙන යෑමද විශාල අභියෝගයක්වී ඇතැයි වාර්තා වේ.
විශ්වවිද්‍යාලවල ගැටලු සම්බන්ධයෙන් දිවයිනේ සියලුම උපකුලපතිවරුන් සමග එන සතියේ දී සූම් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය.
විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන බඳවා ගැනීම්, විශ්වවිද්‍යාල ව්‍යාපෘතිවල ප්‍රගතිය, නේවාසිකාගාර ගැටලු ඇතුළු කාරණා ගණනාවක් මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය. මේ අතර දිවයින පුරා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර 55ක් අලුතින් ඉදි කිරීමට කටයුතු කරගෙන යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ගැටලුව තදින්ම පවතින බව පැවසූ ඔහු ඒ සඳහා ඉතා ඉක්මනින්ම විසඳුමක් ලබා දීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය. මේ අතර විශ්වවිද්‍යාලවල රසායනාගාරවලට දිවා රාත්‍රී විදුලිය සැපයිය යුතුව ඇති හෙයින් විදුලි උත්පාදක යන්ත්‍ර සඳහා වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර සඳහා අඛණ්ඩව ගෑස් සැපයීමට ද කටයුතු කරගෙන යන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සංචරණය අවම කර බලශක්තිය ඉතිරි කර ගැනීම එහි අරමුණ බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමයට හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ ඒ දෙකටම පැවැත්වීමට හැකියාව පවතින අතර එම ක්‍රමය කුමක්දැයි ඉදිරියේ දී තීරණය කෙරෙනු ඇත.
බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පාසල්වල අධ්‍යාපන චාරිකා සහ පිරිස් වැඩි වශයෙන් සහභාගි වන උත්සව අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එසේම පාසල්වල බස් රථ සහ අනෙකුත් වාහන පරිහරණය සීමා කරන ලෙසට ද විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.

