උපුල් වික්‍රමසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදය පැන වූ තීරු බදු හමුවේ අපනයන ආදායම්වලට විය හැකි අහිතකර බලපෑම් සමනය කරගැනීම සඳහා ඒ ඒ රටවලට ශ්‍රී ලංකාවෙන් සිදු කරනු ලබන අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තානාපති කාර්යාලවලට දුන් ඉලක්ක පිළිබඳ එළැඹෙන 12 වැනිදා පූර්ණ සමාලෝචනයක් කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.
එහිදී ගෙවුණු මාස තුනක කාලයේ දී අපනයන ආදායම් වැඩි කර ගැනීමට සමත් වූ රටවල් මෙන්ම එසේ නොහැකි වූ රටවල් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පුළුල්ව සාකච්ඡා කිරීමට ද නියමිත ය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන සභාවේ සභාපති මංගල විජේසිංහ ඉරිදා ලංකාදීපයට පැවසුවේ ජූලි මස 31 වැනිදා වෙන විට ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල එකී ඉලක්ක වෙත ළඟා වීම වෙනුවෙන් ලබා ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධ තොරතුරු රැස් කරගෙන ඇති බවත් ලබන අඟහරුවාදා රැස් වෙන අපනයන සංවර්ධන අමාත්‍ය සභාව හමුවේ අදාළ සමාලෝචනය සිදු කරන බවත් ය.
1992 න් පසු අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස් වී නැති බව කී සභාපතිවරයා එය රටේ අපනයන සම්බන්ධ ප්‍රතිපත්ති ක්ෂේත්‍රය දියුණු නොවීමට හේතුවක් යැයි ද මෙම වසරේ සිට මාස තුනකට වරක් එම සභාව රැස් වී රටේ අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළව ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ ගැන සාකච්ඡා කරන බව ද සඳහන් කළේ ය.