ණයට ගත් කෝටි විසි දෙලක්ෂයක් ආගිය අතක් නෑ තොරතුරු සොයන්න රජයෙන් පරීක්ෂණයක්


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

පසුගිය රජයන් ලබා ගත් ණය මුදල් වලින් කෝටි විසි දෙලක්ෂයක් ආගිය අතක් නැතැයි මුදල් හා ක්‍රම සම්පාදන නි. අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවේදී පෙරේදා (23) පැවසීය.

මේ මුදල කිසිදු පොතපතක, වාර්තාවක සඳහන් නොවන බව පැවසූ  නියෝජ්‍ය අමාත්‍යවරයා විගණකාධිපතිවරයා සහ දැනුම ඇති කණ්ඩායම් සම්බන්ධ කරගෙන දශක ගණනාවක් පිටුපසට ගොස් මේ තොරතුරු සොයා ගැනීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ, විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

ආගිය අතක් නැති මෙම මුදල රටේ ශේෂ පත්‍රයේ පැහැදිලිව තිබෙන බව  විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර ඇතැයිද එදා හිටපු අය රට කළමනාකරණය කළ ආකාරය මින් පැහැදිලිවම පෙනී යන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

එසේ කළමනාකරණය කළා නම්  එම ණය අදාළ වාර්තාවල සටහන් විය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ණය මුදල් නිසි ලෙස විගණනයකට භාජනය කළේ නම් ඒවායේ විනිවිදභාවය රටට හෙළි කළේ  නම් අද මෙවැනි තත්වයක් උදා නොවන බවද සඳහන් කළේය.

ආගිය අතක් නැති මෙම මුදල් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට  වර්තමාන රජය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සමහර තොරතුරු සෙවීමට දශක ගණනාවක් ආපස්සට යෑමට සිදුවන බවත් හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.

ඒ සඳහා විගණකාධිපති මදිහත්වීමෙන් දැනුම තිබෙන පිරිස් සම්බන්ධ කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව පැවසූ හෙතෙම එදා හිටපු දේශපාලනඥයන් රට කළමනාකරණය කරන්නේ යැයි පවසා ඉවක් බවක් නැතුව ණය අරගෙන කළ වැරදි දේවල් නිවැරදි කරගෙන යන බවද ප්‍රකාශ කළේය.