ඩෙංගු දරුවන් අතරට


ළමා රෝහලේ දැනටම 32ක්

පද්මිණී මාතරගේ

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර දැනට කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 32 ක් වාර්තා වී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

මෙම දරුවන් අතරින් ඩෙංගු වෛරස් උණ සහිත 24 දෙනෙකු ද, ඩෙංගු රක්තපාත උණ රෝගීන් 08 දෙනෙකු ද වාර්තා වී තිබෙන අතර ළමුන් අතර ඉන්ෆ්ලු‍වන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක්ද බහුලව දකින්නට ලැබෙන බවත් මෙම තත්ත්වය තුළ ඩෙංගු වැඩිවීමේ දැඩි අවදානමක් ඇති බවත්  ඔහු කීය.


ඩෙංගු රක්තපාත තත්ත්වය වැඩිවීමේන් මරණය පවා සිදුවිය හැකි බව ද පැවසූ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම දරුවන්ට ප්‍රතිකාර ලබා දීමේ දී අධිසත්කාර ඒකක පිරී ගියහොත් අධික ඩෙංගු රක්තපාත හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීය.


ඩෙංගු රෝගය නිසා දැනට එක් ළදරු මරණයක් සිදු වූ බව ද පවුල් ලෙසත්, ගම්මාන හා ස්වේච්ඡා සංවිධාන ලෙසත් එකට එකතුව මුළු රටෙන්ම ඩෙංගු පලවා හැරීමට පරිසරය පිරිසිදු කරමින් ඩෙංගු මර්දන වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.