- ලංකාව අපනයන අංශයට කර ඇති හානිය සමග බලද්දි ඇමෙරිකානු තීරු බද්දෙන් වෙන්නෙ සුළු හානියක්
- සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න
උපුල් වික්‍රමසිංහ
කලාපයේ තරගකාරී රටවලට පනවනු ලැබ ඇති තීරු බදු අනුපාත සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 20 ක තීරු බද්ද සාමාන්‍ය අගයක් බව ද එබැවින් ලංකාවේ අපනයන සඳහා ඇති තරගකාරිත්වයෙහි විශාල පිරිහීමක් සිදු නොවන බව ද දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත
මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කළේය.
එසේ වුව ද මේ තීරු බදු නිසා පාරිභෝගිකයන්ට සහ නිෂ්පාදකයන්ට බලපාන ආකාරයට ඇමෙරිකානු වෙළෙඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදු වෙන බවත් එහි අහිතකර ප්‍රතිඵල ලංකාවේ අපනයන කෙරෙහි ද බලපාන බවත් කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාව විසින් එහි අපනයන අංශයට කරනු ලැබ ඇති හානිය සමග සැසඳීමේදී ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට පැනවූ සියයට 20 ක තීරුබදුවලින් සිදුවෙන හානිය සුළු එකක් බවත් පැවසීය.
ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයට පිවිස වසර 45 ක් ගත වූ පසුත් එහි වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12 ක් තරම් පහළ අගයක පැවතියත් ශ්‍රී ලංකාවට පසුව අපනයන වෙළෙඳාමට යොමු වූ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් මේ වෙන විට ශ්‍රී ලංකාව පසු කර ඇතැයි කී මහාචාර්යවරයා ඒ අනුව වසර 2024 දී ඉන්දියාව ඩොලර් බිලියන 450 ක ද සිංගප්පූරුව ඩොලර් බිලියන 500 ක ඉක්මවන ප්‍රමාණයකින් ද තායිලන්තය ඩොලර් බිලියන 300 ක ද අපනයන සිදු කර ඇතැයි සඳහන් කළේ ය.
ඇමෙරිකාව, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, චීනය සහ ආසියාන් සංවිධානය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම සඳහා ශ්‍රී ලංකාවට ඕනෑ තරම් අවස්ථා තිබුණ ද ඒ අවස්ථා මගහැරිය බව කී හෙතෙම දුෂ්කර අවස්ථාවට මුහුණ දුන් පසු ඒ සඳහා උත්සාහ කරමින් සිටින බව පැවසීය. අපනයන ප්‍රවර්ධනයට අවැසි ප්‍රතිසංස්කරණ කරමින් ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඇතුළත් වීම වැදගත් බව ඔහු පැහැදිලි කළේ ය.