ජූලි 01දා සිට බස් ගාස්තු වැඩි කරන්න - බස් හිමියන්ගෙන් යෝජනා


ඉන්දික හේවාවිතාරණ

සේවක වැටුප් වැඩිවීම, ලිහිසිතෙල් මිල, බස් රථ හා අමතර කොටස්  මිල අධික ලෙස ඉහළ යෑම නිසා ජූලි 01 වැනි දින සිදුවෙන බස් ගාස්තු සංශෝධනයේ දී අවම බස් ගාස්තුව ඇතුළු අනෙකුත් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බව බස් හිමියෝ සඳහන් කරති. 

විදුලිබිල ඉහළ යාම නිසා බස් රථ අලු‍ත්වැඩියා කිරීමේ ගාස්තු පවා ඉදිරියේදී  ඉහළ යනු ඇති අතර රුපියල් එක්කෝටි විසිලක්ෂයකට අලෙවි වූ බස් රථයක මිල මේ වන විට රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.

ඩීසල් මිල සාමාන්‍ය තත්ත්වයක පැවතුණත් අමතර කොටස් මිල හා බැටරි මිල ඉහළ ගොස් ඇති බවද බස් රථ සේවකයන්ට ගෙවිය යුතු මුදල පසුගිය කාලයේදී ඉහළ ගොස් තිබෙන බවද බස් හිමියෝ සඳහන් කරති. 
ජූලි මස 01 වැනි දින සිට සිදුවන බස් ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තුව ඉහළ දැමිය යුතු බව එකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද සඳහන් කරයි.

මේ අනුව මීට අදාළ යෝජනාව හෙට(16දා) ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාර දීමට කටයුතු කරන බවද එම සංගමයේ  සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේය. 

බස් ගාස්තු තීරණය කිරීමේදී කරුණු 12 ක් සලකා බලන බවද   එම කරුණු සලකා බැලීමේදී ලීසිං පොලී සුළු මුදලකින් අඩුවී ඩීසල් මිල සාමාන්‍ය තත්ත්වයක පැවතුණත් අනෙකුත් සියලු‍ම දේවල මිල ඉහළ ගොස් තිබෙන බවද ඔහු පැවසීය.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක වන්නේ යම් යම් විෂමතා යටතේ වෙන නිසා මෙවර මෙම විෂමතා අඩුකර බස් ගාස්තුව ඉහළ දැමිය යුතු බව අන්තර් පළාත් බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මීට අදාළ යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බවද එම සංගමය පෙන්වා දෙයි.