උපුල් වික්‍රමසිංහ
එළැඹෙන ජූලි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට නම් මේ මස දෙවැනි සතිය වෙනවිට ඊට අදාළ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබිය යුතු බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ඊට අදාළව මේ දක්වා යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවද මිල සූත්‍රයට අනුව ස්වයංක්‍රීයව කරනු ලබන විදුලි ගාස්තු සංශෝධනය සඳහා අප්‍රේල් මසදී ඉදිරිපත් කළ යෝජනාවෙන් මණ්ඩලයට රුපියල් බිලියන 22 ක හිඟයක් (මෙහෙයුම් අලාභය) ඇති බැවින් සියයට 10 කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉල්ලා තිබුණු බවද ඔහු පැවසීය. සැබෑ පාඩුව රුපියල් බිලියන 15.5 කින් අඩුවිය යුතු බව කොමිසමේ ගණනය කිරීම්වලින් හෙළි වූ බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් පුවත්පතට වාර්තා වෙන තොරතුරු අනුව මේ වසරේ ජනවාරි මස සියයට 20 කින් විදුලි ගාස්තු අඩු කළ නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 25 -30 ත් අතර පාඩුවක් සිදුව ඇති බැවින් එම පාඩුව හා මෙහෙයුම් හිඟය පියවා ගැනීම සඳහා සියයට 49 ක පමණ ගාස්තු වැඩිවීමක් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතත් කොමිසම එය ප්‍රතික්ෂේප කර තිබේ.
අප මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ජුනි මස ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මැයි 15 වැනිදා වෙනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවය.