ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ කළමනාකාරිත්වයට දේශපාලන බලපෑම්


අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් තම ආයතනයේ සේවය කළ සේවකයකුට එරෙහිව පවරා ඇති නඩුවක් ඉල්ලා අස්කරගන්නා ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකලම්වරියක විසින් අදාළ ආයතනයේ කළමනාකාරිත්වයට කර ඇති බලපෑම වැවිලි ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇත. 

පසුගිය කාලයේ වසා දමන තත්ත්වයක තිබුණු මෙම ආයතනය සාර්ථක ආයතනයක් බවට පත් කළ ඉහළ නිලධාරියකු ඇතුළු නිලධාරීන් ගණනාවක් මේ සම්බන්ධයෙන් දැඩි කළකිරීම කිරීමට පත්ව ආයතනය හැර යන තත්ත්වයකට පත්ව සිටින බවද වාර්තා වේ. මෙම නියෝගය නිසා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පරිපාලනය අර්බුදයට ලක්ව තිබෙන බව ද වාර්තා වේ.   

අදාළ සේවකයා විනය විරෝධී හේතුවක් මත සේවයන් පහ කිරීම නිසා ඔහු විසින් කඩුවෙල කම්කරු විනිශ්චය සභාවේ පවරා තිබූ නඩුවක් ජයගෙන ඇත. එහෙත් වැවිලි කළමනාකරණ ආයතනයේ කළමනාකාරිත්වය එම තීරණය අභියෝගයට ලක් කරමින් ඉහළ අධිකරණයට ගොස් තිබේ. මෙම අභියාචනය ඉවත්කර ගන්නා ලෙස දන්වමින් වැවිලි අමාත්‍යංශය මගින් කළමනාකාරිත්වය ට දැනුම් දී ඇත. 

වැවිලි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී ද ඉහත කී සේවකයාට එරෙහිව ආයතනය පවරා ඇති අභියාචනය ඉල්ලා අස්කර ගන්නා ලෙස වාචිකව ද දන්වා ඇත. මෙය ආයතනයේ පරිපාලනය දැඩිසේ කළකිරීමකට හේතුව වී ඇති බව වාර්තා වේ. 

මේ වනවිට ලාබ ලබන ආයතනයක් ව්‍යාකූල කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බැවින් වහාම ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති.

නිරෝෂන් ප්‍රේමරත්න