සුජිත් හේවාජුලිගේ
ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඉල්ලීමක් කරති.
එසේම ජාතික කළමනාකරණ මධ්‍යස්ථානය ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බවත් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත් කිරීම වැදගත් බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේ එවැනි කවුන්සිලයක් ඇති කිරීමට කටයුතු නොකළ හොත් මෙවැනි හදිසි ආපදාවල දී ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි පාවිච්චි කර කටයුතු කිරීමට තවදුරටත් සිදුවනු ඇති බවය.
ඉන්දියාවද ප්‍රබල පනතක් මගින් ආපදා කළමනාකරණය හරියාකාරවම කරන බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ කාලගුණ ආපදාව පිළිබඳව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ කල්තියා දැනුම්වත් කර තිබූ බවද සඳහන් කළේය.
එම දැනුවත් කිරීම් අනුව කටයුතු කිරීමට අවශ්‍ය බලතල කාලගුණ අංශ සතුව නැතැයි පැවසූ ප්‍රතිභා මහානාම හේවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුණේ ඇයි දැයි අදාළ නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් නඩුවක් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
ඉදිරි කාලයේ දී ලංකාව කාලගුණික විපර්යාස සුලභව සිදුවන රටක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති හෙයින් මෙරට ආපදා කළමනාකරණය සඳහා මෙවැනි ස්වාධීන බලතල සහිත ආයතනයක අවශ්‍යතාව තදින්ම දැනෙන බව ද ඔහු වැඩිදුරටත් කීය.

