ජාත්‍යන්තර ආධාර සමුළුවේ ලොකු පුටුවට සම්බන්ධීකාරක රටකට ආරාධනා කරන්න - හිටපු මහාභාණ්ඩාගාර ලේකම්වරයෙක් කියයි


උපුල් වික්‍රමසිංහ

දිට්වා සුළිකුණාටුව හමුවේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට 2026 වසරේ ජනවාරි මස කැඳවීමට නියමිත ජාත්‍යන්තර ආධාර සමුළුවෙහි ප්‍රධානත්වය ගැනීමට සම්බන්ධීකාරක රටකට ආරාධනා කළ යුතු යැයි සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ හිටපු මහා භාණ්ඩාගාර ලේකම්වරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

වසර 2004 සුනාමි ආපදාවෙන් පසු ද ශ්‍රී ලංකාවේ විනාශ වූ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ජපානයේ මූලිකත්වය ඇතුව ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවූ බව ද එයින් විශාල වශයෙන් රටට ආධාර ගලා ආ බව ද ඔහු ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ දී අදාළ ආධාර සමුළුවෙහි සම්බන්ධීකාරකත්වය භාර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ජපාන රජයට ආරාධනා කර සිටි බවත් ජපානය එය පිළිගෙන එම කටයුතු මනාව සංවිධානය කළ බවත් හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා කීවේ ය.

මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආධාර කරන ලෙස ලෝකයේ සෙසු රටවල්වලින් ඉල්ලා සිටිය හැකි මධ්‍යස්ථ රටකට එහි මූලිකත්වය ගැනීමට ආරාධනා කිරීම වැදගත් බව කී හෙතෙම 2004 දී ජපානය මූලික වී රටවල් රැසකින් සුනාමි සහනාධාර ලබා ගැනීමට හැකි වූ බව ද සිහිපත් කළේ ය.

අදාළ ආධාර සමුළුව ලබන මස කැඳවීමට පෙර තාක්ෂණික කාරණා කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය බව ද ඒ අනුව සිදු වූ හානිය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරු වාර්තාවක් සකස් කිරීමත් එහි ඇතුළත් දත්ත පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීමත් වැදගත් යැයි ද ඒ සඳහා තානාපති අංශ ඵලදායීව යොදා ගත යුතු යැයි ද හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා කීවේ ය.