ලවංගා මාධවී දෑරංගල
දිට්වා සුළිකුණාටුව සමග දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වයෙන් රට යළි නඟා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය මගින් ඩො.මි. 36ක මුදලක් ජාත්‍යන්තර සංවිධාන හරහා ආධාර ලෙස ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ සමඟ සමස්ත ජාත්‍යන්තර ආධාර රුපියල් බිලියන 11කට ආසන්න මුදලක් මෙරටට ලැබෙනු ඇති බව ද ඔහු කීවේය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංගමයට අනුබද්ධ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක කම්කරු සංවිධානය, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ආදී සංවිධාන මෙන් ම ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, චීනය, දකුණු කොරියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය සහ එංගලන්තය වැනි රටවලින් එලෙස ආධාර හිමි වනු ඇත. මෙම සියලු ආධාර ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා ඇති Rebuild Sri Lanka අරමුදලට බැර කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
එසේ ම මාස එකහමාරක් වැනි කාලයක දී ආපදාවේ සමස්ත හානිය පිළිබඳ පශ්චාත් ආපදා තක්සේරු වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන ආයතනය මඟින් සියලුම ආයතන හා දෙපාර්තමේන්තුවලට දැනුම් දී ඇති අතර ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ වෙනත් ආයතනයක් මඟින් මෙම වාර්තාව සකස් කරනු ඇත.
එම වාර්තාව අනුව ප්‍රමුඛතා ලැයිස්තු සකස් කොට මාර්ග, දුම්රිය මාර්ග, පාලම් ආදිය නැවත ගොඩනැගීම මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් විදෙස් උපකාර ලබා ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය, මහාමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජලසම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි ආයතන සමඟ අඛණ්ඩව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. එසේ ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය මඟින් අත්‍යවශ්‍ය සේවා සැපයීම හා ජනතාවට නිසි ලෙස සහනාධාර බෙදා හැරීම් පිළිබඳ සොයා බැලීමට හා පැමිණිලි ලබා ගැනීමට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි 1904 දුරකතන අංකය ද විවෘත කර ඇත.

