ජනපති කාර්යාලයේ වාහන 51 කට වෙච්ච දෙයක් නෑ


තවත් 53ක් පිටතට දීලා

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙයි. 

මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව  ඇතැයි ද වාර්තාවේ දැක්වේ.


මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන විසිහතක් සඳහා එම කාර්යාලය  නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.


එම වියදම් ප්‍රතිපූරණය කර ගැනීමට හෝ කටයුතු කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය.


ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබා දී තිබුණ ද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ  විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.


මේ අතර  ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ භාණ්ඩ හා උපකරණවලට  අරගලය  අවස්ථාවේදී සිදුවූ හානි කිරීම්  හේතුවෙන්  රුපියල් තුන්කෝටි හැට හය ලක්ෂයකට වැඩි  පාඩුවක් සිදුව ඇතැයි පවසන විගණන  වාර්තාව  වාහන විසි දෙකකට ඒ අවස්ථාවේදී  හානි සිදුව තිබූ බවද සඳහන් කළේය.
තවද ජනාධිපති කාර්යාලය වෙනත් රාජ්‍ය ආයතන සතු වාහන පනස් දෙකක් ලබා ගත් බව දන්වා එවා ඇතත් වාහන හැට හයක් භාවිතා කරන බව විගණනයේදී  නිරීක්ෂණයවී ඇත. මේ ඇතැම් වාහන ජනාධිපති කාර්යාලයට ගත් දිනයද සොයාගත නොහැකිවී තිබූ බව විගණන  නිලධාරීහු පෙන්වා දෙති.
මේ තොරතුරු සඳහන් වෙන්නේ ජනාධිපති කාර්යාලයේ 2022 කාර්ය සාධන  වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.