- චෙම්මනී සුසාන භූමි ප්‍රදේශයේ කැණීම් අගෝස්තු 22 යළි ඇරඹෙයි
යාපනය ප්‍රදීප් කුමාර
ඉකුත් 6 වැනිදා තාවකාලිකව නතර කළ යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භුමිය ප්‍රදේශයේ කැණීම් කටයුතුවල මීළඟ අදියර අගෝස්තු මස 22 දා සිට ආරම්භ කරන බව කැණීම් භාර නිලධාරීහු සඳහන් කරති. කැණීම්වලදී මේ දක්වා මිනිස් සිරුරු 147 ට අයත් අස්ථි මතුකරගෙන ඇති අතර සිරුරු 140 ට අයත් අස්ථි සම්පූර්ණයෙන් ගොඩ ගෙන තිබේ.
ඉකුත් 4, 5 දිනවල සුසාන භූමිය අවට ප්‍රදේශයෙහි සිරුරු තිබේ දැයි හඳුනා ගැනීම සඳහා ස්කෑන් පරීක්ෂණයක් ද සිදුකර ඇත. අස්ථි කොටස් සමග හමුවූ පාසල් බෑගය හා කිරි බෝතලය යනාදී උපකරණ රැසක් අනුව ඉකුත් 5 වැනිදා මියගිය අය හඳුනාගැනීමේ අවස්ථාව ලබා දී තිබූ අතර එහි පැමිණි 200ක් පමණ වූ පිරිස්වලට කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇත.
2025 වසරේ පෙබරවාරි 20 දින මෙම සුසාන භුමිය ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට සම්බන්ධ වූ කම්කරුවන් පිරිසකට මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමට එහි කටයතු භාරව සිටි නිලධාරීහු පියවර ගත්හ. උතුරේ අතුරුදන්වූවන්ගේ සංගම්වල, සිවිල් සංවිධානවල හා දේශපාලන නියෝජිතයන්ගේ අවධානය මේ සඳහා යොමු විය.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පසුව මෙහි කැණීම් කටයුතු ආරම්භ කළ අතර ඒ වන විට යාපනය දිස්ත්‍රික්කයට බලපෑ වැසි හේතුවෙන් කැණීම් කටයුතු නවතා දමන ලදි. පසුව යළිත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත කැණීම් කටයුතු සිදු කරන ලදි. 2025 මැයි 15 සිට 17 දක්වා මුලින්ම සිදු කළ කැණීම්වල දී මෙම ස්ථානයෙන් සිරුරු දෙකකට අයත් අස්ථි හඳුනාගෙන තිබේ. නමුත් එවරද වැසි හේතුවෙන් කැණීම් නවතා දැමීමට සිදු විය.
නැවත එම කටයුතු ආරම්භ කරන ලද්දේ ජුනි 02 දා සිටය. එම කැණීම් කටයුතු අදියර කීපයක් ඔස්සේ සිදු කළ අතර ඉකුත් 06 වැනිදා එම කටයුතු තාවකාලිකව නවතා දමන තෙක් සිරුරු 147 ට අයත් අස්ථි හඳුනා ගැනීමට හැකිව තිබේ.
මෙහිදී අවධානය යොමු වූයේ තෙවැනි අදියරේ 02 හා 03 වැනි දින කැණීම් සඳහාය. ඒ අනුව එහිදී කාන්තාවකගේ යැයි සැක කෙරෙන අස්ථි කොටස් සමග එම අස්ථිවල පපු ප්‍රදේශයට වන්නට කුඩා දරුවෙකුගේ යැයි සැක කෙරෙන අස්ථි හමුව ඇති බවට ද වාර්තා විය. තවද ජුනි 28 දින පාසල් බෑගයකට සමාන බෑගයක් හමු වූ අතර එම ආසන්නයේ තිබී කුඩා දරුවෙකුගේ බවට සැක සිරුරක අස්ථි හමු විය.
අදාළ බෑගය සම්බන්ධයෙන් අදහස් පළ කළ කැණීම් භාර නිලධාරීන් සඳහන් කර සිටියේ එම බෑගය පිළිබඳ පරීක්ෂණ මෙතෙක් අවසන් කර නැති හෙයින් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් අනවාරණය කළ නොහැකි බවය.
මෙම ප්‍රදේශයෙන් හමුවූ අස්ථි කොටස්, භාණ්ඩ වර්ගීකරණය හා අංකනය කිරීමේ කටයුතු යාපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන අතර හමු වූ අස්ථි හා භාණ්ඩ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා හා මානව විද්‍යා අංශයේ ගබඩා කර තිබේ.
මෙහි දී හමුවූ භාණ්ඩ අතර බෝනික්කෙක්, කුඩා ළමුන් පලඳින වළලු යුගලක්, සපත්තු, ඇඳුම් කැබලි, තුවක්කු බැරලයක කොටසක්, පාසල් බෑගයක් බවට සැකකරන බෑගයක් ඇතුළු ද්‍රව්‍ය කීපයක්ම හමුවී ඇති බව කැණීම් භාර නිලධාරීහු සනාථ කර සිටිති. මේ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම කැණීම් යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. අනන්දරාජාගේ අධීක්ෂණය යටතේ මහාචාර්ය රාජ් සෝමදේවගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. අස්ථි කොටස් තවමත් කාලනිර්ණය සඳහා යොමුකර නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණ නොමැති බව කැණීම් භාර නිලධාරීහු සඳහන් කර සිටිති.