ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටෙයි


  • හය දෙනෙක් ජීවිතක්ෂයට
  • හය දෙනෙකුට තුවාල

ගයාන් සූරියආරච්චි - ජයමාල් චන්ද්‍රසිරි

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී  සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීමෙන් ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් හතර දෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව 

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසීය.

තවත් හය දෙනකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව උසස් නිලධාරියෙක් පැවසීය. ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.

එම හෙලිකොප්ටර් යානය හිඟු‍රක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් හමුදා නිලධාරීන් රැගෙන අලු‍යම 6.00 ට පමණ මාදුරුඔය බලා පිටත්ව ගොස් තිබේ. ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු 12 දෙනෙකු එම හෙලිකොප්ටර් යානයේ ගමන් කළ බව ගුවන් හමුදාව පවසයි.

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ පැවති යුද හමුදා නිලධාරීන් විසිර යෑමේ උත්සවයකට සහභාගි වී සිටිය දී විශේෂ කාර්යාංශ නිලධාරීන් පස් දෙනෙකු ද ඊට නංවාගෙන එම හෙලිකොප්ටර් යානය මාදුරු ඔය ජලාශය උඩින් පියාසර කරමින් තිබිය දී අනතුර සිදුව ඇතැයි ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත් මාදුරු ඔය ජලාශයට හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුරුව පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ජලාශයට වැටුණු පිරිස බේරා ගැනීමෙන් අනතුරුව රෝහල් ගත කෙරිණ.

අනතුර සම්බන්ධයෙන් 9 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුවක් විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය නිලධාරීන්ගේ මෘත දේහ පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මහ ඔය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.