ගුරුවරු 23,000ක් මේ වසරේදී බඳවා ගැනේ - අගමැතිනි හරිනි


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න 

ගුරුවරුන් 23,000ක් මේ වසරේදී බඳවා ගන්නා බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. මෙම බඳවා ගැනීම්වලින් ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම්වල ගැටලු‍ විසඳෙනු ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.

විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් ගුරුවරුන් මෙසේ බඳවා ගැනේ. අගමැතිනිය මෙසේ පැවසුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් එම කමිටුවේ වාර්තාව අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න යන අය ද අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.