නිරෝෂණ කුමාර
වතු කම්කරුවන් හා ප්‍රාදේශීය වතු සමාගම් අතර අත්සන් කළ ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන තුරු එහි වලංගුභාවයක් නැති හෙයින් වැඩි කළ වැටුප ද ලැබෙන බවට සහතිකයක් දිය නොහැකි යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සඳහන් කරයි.
අදාළ අවබෝධතා ගිවිසුම මාධ්‍ය වෙත හෙළි නොකිරීමට ප්‍රධාන කාරණා කිහිපයක් බලපා ඇතැයි බව ඔහු පවසයි.
ගිවිසුමේ අන්තර්ගත කරුණු කිහිපයක් කිසිදු පාර්ශ්වයක් විසින් ඉටු නොකරනු ලබන අවස්ථාවක දී අනෙක් පාර්ශ්වයට නීතිමය පියවරක් ගත නොහැකි බව ද අනාගතයේ වතු කම්කරුවන්ට සිදුවිය හැකි හානිය වැළැක්වීම සඳහා මෙම ගිවිසුම ඉවත්කොට, එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ කරුණු හෙළි කර නැතත්, එහි පිටපතක් තමන් සතුව ඇතැයි ද හෙතෙම කීය. එය අධ්‍යයනය කිරීමේ දී බරපතළ අඩුපාඩු රැසක් හඳුනාගත් බව ඔහු සඳහන් කළේය. මීට පෙර කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් අත්සන් කරනු ලැබුවේ සමාගම්, වතු වෘත්තීය සමිති සහ රජය යන තුන් පාර්ශ්වයම සම්බන්ධ වූ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මගිනි. එහි කිසිවක් රහසිගත නොවූ බවද ජීවන් තොණ්ඩමන් පෙන්වා දෙයි.
වත්මන් රජය හා වතු සමාගම් අතර ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුම එවැන්නක් නොවන බවද ඔහු සඳහන් කර සිටියි. ගිවිසුමේ හතරවන වගන්තියේ සඳහන් පාරිතෝෂික දීමනා ගණනය කිරීම සඳහා වසරකට අවම වශයෙන් දින 180 ක සේවා වාර්තාවක් තිබිය යුතු බවට එකඟ වී තිබේ. වතු සමාගම්වලින් එම දින 180 වැඩ ලබාදෙනවාද, නැද්ද යන්න ප්‍රශ්නයක් වී ඇත.
ඔහු පෙන්වා දෙන්නේ මෙහි අටවැනි වගන්තියට අනුව ඇති කිසිදු කොන්දේසියක් ඉටුකිරීමට කිසිදු පාර්ශ්වයක් නීතිමය වශයෙන් බැඳී නොමැති බවය. ඒ අනුව කිසියම් පාර්ශ්වයක් ගිවිසුම කඩ කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයට යාමට නොහැකි බව ඔහු පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක දී අවම මූලික වැටුප රුපියල් 1,550 ක් බව සඳහන් කරමින් මෙම ගැසට් නිවේදනය වහාම නිකුත් කළ යුතු යැයි ඔහු පෙන්වා දෙයි. එසේ නොවුණ හොත් වසර තුනකට පසු නැවත වැටුප් පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන්නේ කොතනින්ද යන්න සොයා ගත නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

