ගාල්ල සහ මඩකළපුව රෝහල්වල පිළිකා විකිරණ යන්ත්‍ර කැඩිලා


නිශාන්ත කුමාර බණ්ඩාර

ගාල්ල ජාතික රෝහලේ සහ මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා විකිරණ සේවා සම්පූර්ණයෙන් අඩාළවී ඇතැයි වාර්තා වෙයි.

මෙම රෝහල් දෙකේ පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකරන ලිනියර් ඇක්⁣සලේරේට විකිරණ යන්ත්‍ර දෙක පසුගිය ජුනි 4 සහ 5 වැනි දින සිට බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

බිඳ වැටුණු යන්ත්‍ර දෙක යථා තත්ත්වයට පත් කිරීමට අදාළ සමාගම කටයුතු නොකරන්නේ අදාළ සේවා ගිවිසුම් නොමැති නිසා බව වාර්තා වෙයි. ඒ නිසා එම සමාගම නඩත්තු කටයුතුවලින් ඉවත්වී ඇත.

මඩකළපුව රෝහලේ දිනකට රෝගීන් 60 දෙනකු හා ගාල්ල ජාතික රෝහලේ රෝගීහු 80-90 අතර සංඛ්‍යාවක් මෙයින් සේවා ලබා ගනිති.

මේ වන විට ගාල්ල ජාතික රෝහලේ පමණක් මාස 5කට ආසන්න කාලයක් රෝගීන් විකිරණ සේවා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වෙයි.

මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ නව සිටි සිමියුලේෂන් යන්ත්‍රය ස්ථාපන කටයුතු තවමත් අවසන් වී නොමැතිවීම නිසා රෝගීන් 600 කට ආසන්න සංඛ්‍යවක් පිළිකා විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් සිටිති.

මේ ආකාරයෙන් දිගින් දිගටම යන්ත්‍ර බිඳ වැටීම් නිසි පරිදි යාවත්කාලීන නොකිරීම නිසා රෝගීන්ගේ ප්‍රතිකාර සේවා බරපතළ ආකාරයෙන් බිඳ වැටීමට ලක්වී ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.