ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක වංචා යට ගිහින් - බස්නාහිර විතරක් කෝටි පන්සීයයි


සුජිත් හේවාජුලිගේ

ග්‍රාමීය සහ විවිධ සමුපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාද හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. රත්නායක පැවසීය.

බස්නාහිර පළාතේ පමණක් ග්‍රාමීය සහ සමුපකාර බැංකුවල රුපියල් කෝටි 500කට වැඩි මුදල් වංචා සිදුව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලද විශාල වශයෙන් මුදල් වංචා සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය බැංකුවල දූෂණ වංචා සහ අක්‍රමිකතා බොහෝ ප්‍රමාණයක් පළාත් මට්ටමේ විගණනයෙන් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් ඇත්තටම සිදු වූ දූෂණ වංචා ද විගණන ප්‍රමාදය හේතුවෙන් අනාවරණය කරගත නොහැකිව පවතින බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව අමාත්‍යාංශය විගණනය ශක්තිමත් කර ගැනීමට මැදිහත් වෙමින් සිටින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ග්‍රාමීය බැංකු විගණනය සිදුවෙන්නේ පළාත් විෂයට අදාළව බවද ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්  සමුපකාර කොමසාරිස්වරිය සමඟ දීර්ඝව  සාකච්ඡා කරන බවද ඔහු කීය.