ගතවූ මාස හතේදී පොලිස් නිලධාරීන් 432කට සේවය අත්හැර යෑමේ නිවේදන


ගයාන් සූරියආරච්චි

මෙම වසර ආරම්භයේ සිට ජූලි මස 01 වැනිදා දක්වා ගතවූ මාස 7 ට පොලිස් නිලධාරීන් 432 කට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනකු, උපපොලිස් පරීක්ෂකවරුන් 9 දෙනකු, උපපොලිස් පරීක්ෂිකාවක, පොලිස් සැරයන්වරුන් 60 දෙනෙකු, පොලිස් සැරයන්වරියන් දෙදෙනෙක් ද ඒ අතර සිටිති.

තවද පොලිස් සැරයන් රියැදුරන් දෙදෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 303 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරියන් 27 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියැදුරන් 21 දෙනෙකුට මෙසේ සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර ඇත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව පොලිස් මූලස්ථානයෙන් කළ ඉල්ලීමකින් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ජූලි මස 1 වැනිදා දක්වා ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 250 දෙනකු පමණක් බඳවාගෙන ඇති අතර ඊට සාපේක්ෂව පසුගිය මාස 7 ක් ඇතුළත පොලිස් කොස්තාපල්වරුන් 351 ක් සඳහා සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කර ඇත.

ඉකුත් 2024 වසරේ ශ්‍රී ලංකා පොලිසියට කොස්තාපල්වරුන් 360 ක්, උපපොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල් රියැදුරන් 30 ක්  ඇතුළු 391 ක් පොලිස් සේවයට බඳවාගෙන තිබේ.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ඉකුත් දා පැවසුවේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙහි 28,000 ක පමණ පුරප්පාඩු පවතින බවත් නිලධාරීන් 5000 ක් බඳවා ගැනීම සඳහා අනුමතිය හිමිවී ඇති බවත් ය.