මනෝප්‍රිය ගුණසේකර
කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීම හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විශ්වවිද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවන් කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාග වලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කරන බවට හා ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ විභාග වලදී විශ්වවිද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතාවන් කරන බවට එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවට ද, සමහර ආචාර්යවරුන් මුදල් ලබාගෙන ලකුණු දී ඇති බවට ද, පැමිණිලි කරන සිසුන් - ආචාර්යවරුන්ගේ වුවමනාවන්ට අනුගත නොවන සිසුන් විභාග අසමත් කර ඔවුන් ගෙන් පළිගැනීමට ක්‍රියා කරන බවට ද, කරුණු සහිතව සිය පැමිණිල්ල මගින් අල්ලස් කොමිසමට පෙන්වා දී තිබිණි.
විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රමවේද, විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාර්යවරුන්ගේ උවමනාව මත උල්ලංඝනය කර ඇති බවට ද, විභාග සඳහා පෙනී සිටි ඇතැම් සිසුන් විභාග අසමත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී අසමත් කළ සිසුන් යළි සමත් කරමින් ප්‍රතිඵල ලේඛන නිකුත් කර ඇති බවට ද චෝදනා කරන සිසුන් - ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි විභාග කිරීමකින් තොරව විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානය කර ඇති බවද පෙන්වා දී ඇත.
විශ්වවිද්‍යාල බලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ වරදවල් බව පෙන්වා දෙන සිසුන් - කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, ඉල්ලමින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල යොමු කර ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසම විමර්ශනය ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාවරය දැනගැනීම සඳහා එහි උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලකගේ කාර්යාලයට ඇමතුමක් ගත් විට ඒ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සංජීවනී පෙරේරා ගෙන් විමසන ලෙස දැනුම් දුන් අතර, ඒ අනුව ඇයගේ කාර්යාලයට ඇමතුමක් ගත්විට එහි සිටි නිලධාරිනියක් දැනුම් දුන්නේ ’රේජිස්ට්‍රාර් මිස් මීන් එකක’ යනුවෙනි. මේ තත්ත්වය හේතූවෙන් මෙම කරුණ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාවරය දැන ගැනීමට නොහැකි විය.

