කොළඹ නගර සභාවේ විශ්‍රාමිකයන් තවමත් නිල නිවාසවල - මියගිය නිලධාරීන්ගේ දරුවනුත් පදිංචි වෙලා


නදීෂා අතුකෝරල

විශ්‍රාමික නිලධාරීන් සහ පවුල් නීති විරෝධී ලෙස කොළඹ මහ නගර සභාවට අයත් නිල නිවාස අත්පත් කරගෙන සිටීම විශාල අර්බුදයකට හේතු වී තිබේ.

බරපතළ පරිපාලන අසමත්කමක් හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ විශ්‍රාමික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කොළඹ මහ නගර සභාවට අයත් නිල නිවාස නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

සේවක කාර්ය මණ්ඩලය සඳහා බොහෝ නිල නිවාස වෙන් කර ඇතත්, කොළඹ 1 සිට 15 දක්වා බොහෝ නිල නිවාස නැවත නගර සභාව වෙත භාර දී නොමැත. 

ඒ වෙනුවට, ඒවා අවසරයකින් තොරව අත්පත් කරගෙන තිබේ. සමහර නිලධාරීන් මිය ගොස් බොහෝ කලකට පසුවත් හිටපු සේවකයන්ගේ දූ දරුවන් ඒවායෙහි පදිංචි වී සිටින බව වාර්තා වේ .

මෙම නිල නිවාස නගරයේ වටිනා ප්‍රAදේශවල පිහිටා ඇති අතර, බොහෝ නිවාස තවමත් එහි රැඳී සිටීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති පුද්ගලයන් විසින් භාවිත කරන බව නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. සමහර අවස්ථාවලදී, අනිසි ලෙස භාවිත කරන නිශ්චිත නිවාස සංඛ්‍යාව පිළිබඳව කොමසාරිස්වරයා පවා නොදන්නා බවද ඔහු පවසයි. 

අනවසර පදිංචිකරුවන් වැඩි දෙනා වසර ගණනාවක් තිස්සේ ජලය, විදුලිය හෝ වෙනත් බිල්පත් ගෙවා නොමැති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය. දේපළ නැවත ලබාගැනීමේ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර, පරිපාලන නිලධාරීන් පදිංචිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බිය වී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය මහජන සේවාවන්ට බරපතළ ප්‍රතිවිපාක ඇති කර තිබේ. වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා නවාතැන් පහසුකම්වල දැඩි හිඟයක් පවතින බව තවත් නිලධාරියෙක් පැවසීය. 

වෛද්‍ය නිලධාරීන් සඳහා මුලින් නම් කරන ලද කිසිදු නිල නිවාසයක් ආපසු ලබා නොදීම නිසා, නව වෛද්‍යවරු නගර සභාවට බැඳීමට මැලිකම දැක්වීමෙන් වෛද්‍යවරුන්ගේ  දැඩි හිඟයක්ද පවතී. ඊට අමතරව, දශක දෙකකට වැඩි කාලයක් කවුන්සිලයෙහි වෛද්‍ය මාරුවීම් සිදුවී නොමැති බවත්, නගරයේ සෞඛ්‍ය සේවා පහසුකම්වල කාර්ය මණ්ඩල අභියෝග තවදුරටත් සංකීර්ණ කරන බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.