කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයට විකල්ප මාර්ග තියෙනවා - ශ්‍රී ලංකා ප්‍රවාහන හා කාර්‌යෝප සංගමය


උපුල් වික්‍රමසිංහ

බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් විසින් 1860 ගණන්වල දී උඩරට දුම්රිය මාර්ගය සැලසුම් කිරීමේ දී කොළඹ සිට මහනුවර දක්වා කොටස ඉදි කළ හැකි විකල්ප මාර්ග ගණනාවක් හඳුනාගනු ලැබූ හෙයින් දිට්වා සුළිකුණාටුව හමුවේ හානි වූ එම දුම්රිය මාර්ගය යළි ප්‍රතිස්ථාපිත කිරීමේ දී එම විකල්ප මාර්ග අධ්‍යයනය කළ හැකි බව ශ්‍රී ලංකා ප්‍රවාහන හා කාර්‌යෝප සංගමය කියයි.

ඒ අනුව රඹුක්කන සිට කටුගස්තොට හරහා මහනුවර, ගම්පහ සිට කුරුණෑගල හරහා මහනුවර සහ අරණායක හරහා පේරාදෙණිය යන විකල්ප මාර්ග එසේ හඳුනාගනු ලැබූ ඒවා බවත් පවතින කොළඹ-මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව තෙක් කොටස නාය යෑමේ අවදානමක පවතින හෙයින් මේ විකල්ප මාර්ග අධ්‍යයනය කර සුදුසු ඒකක් තෝරා දුම්රිය මාර්ගය ඉදි කළ හැකි බවත් එම සංගමයේ ආරම්භක සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය අමල් කුමාරගේ ඉරිදා ලංකාදීපයට පැවසීය.

ශ්‍රී ලංකා ප්‍රවාහන සහ කාර්‌යෝප සංගමය 2017 දී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් මේ විකල්ප මාර්ග පිළිබඳ සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටි බව ද ඉදිරි දිනෙක දී යළිත් ඒවා ගැන අධ්‍යයනය කරමින් රජයට සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන බව ද ඔහු කීවේ ය.

දුම්රිය මාර්ග ඉදිකිරීමට අදාළව නව තාක්ෂණය දියුණු වී ඇති බව කී මහාචාර්යවරයා ඒවා යොදාගෙන පෙර කී විකල්ප මාර්ගයක කොළඹ-නුවර දුම්රිය මාර්ග කොටස පැයට කිලෝ මීටර් 100 -150 අතර වේගයකින් ධාවනය වන මධ්‍යම අධිවේගී දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කළ හැකි බව සඳහන් කළේ ය.

එම දුම්රිය මාර්ගයේ කොළඹ-නුවර කොටසේ මේ වෙනවිට දිනකට ධාවනය කළ හැක්කේ පැය දෙක හමාරත් තුනත් අතර කාලයක දුම්රිය 20 ක් පමණක් වුව ද මධ්‍යම අධිවේගී දුම්රිය මාර්ගයක් වශයෙන් ගොඩනැගුවහොත් පැය එකහමාරක් ඇතුළත දිනකට දුම්රිය 50 ක් පමණ ධාවනයට ඉඩ ලැබෙන බව ද හෙතෙම කීවේ ය.