නිශාන්ත කුමාර බණ්ඩාර
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය පවසයි.
මේ වන විටද මාර්ගය පිළිසකර කටයුතු සිදුවෙමින් පවතින අතර හඳුනාගත් ස්ථාන කිහිපයක නඩත්තු කටයුතු පමාවී ඇත්තේ ගමනාගමන පහසුකම් අසීරු නිසා බවද හෙතෙම “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
නුවර සිට නානුඔය දක්වා මාර්ගයේ විනාශ වූ කොටසක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සැලසුම් සකස් කර වැය වෙන මුදල ගණනය කළ පසු ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
“වැඩ ආරම්භ කළාට පස්සේ තමයි අපට කියන්න පුළුවන් වෙන්නේ. කවදා වෙනකොට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවනය කරන්න පුළුවන් වෙන්නේ කියලා. දුම්රිය මාර්ගයේ විනාශ වූ ප්‍රදේශයේ වෙන් වෙන් වශයෙන් ස්ථාන 11ක් හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථානවලට සමහර තැන්වලට රුපියල් මිලියන 400ක් පමණ වැය වෙන බවයි ගණන් බලා තිබෙන්නේ. රුපියල් මිලියන 300ක් 350ක් 250ක් වගේ වැය වෙන තැනුත් තිබෙනවා. අපට මුදල් නෙවෙයි ප්‍රශ්නය. තාක්ෂණික ගැටලු තිබෙන්නේ. සමහර තැන්වලට ගමන් කරන්න අපහසුයි. දුම්රියෙන්ම උපකරණ ගෙනියන්න ඕනෑ. අපි උත්සාස කරන්නේ මේ වසර අවසන් වීමට පෙර වැඩ කටයුතු අවසන් කරන්න.
කොළඹ සිට මහනුවර දක්වා මාර්ගය අවසන් කළාට පස්සේ තමයි බදුල්ලට දුම්රිය ධාවනය කෙරෙන්නේ කවද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ. නානුඔයේ සිට බදුල්ල දක්වා හදලා තියෙන නිසා ඉන් මෙහාට හදන එක තමයි ගැටලුව. කඩුගන්නාව, බලන කියන දුෂ්කර ප්‍රදේශවලට යන්න අමාරුයි. එනිසා අපි සැලසුම් කරලා තියෙන්නේ දුම්රිය එන්ජිමක් ඇතුළු අනෙකුත් විශාල උපකරණ මහා මාර්ගයෙන් පේරාදෙණිය දක්වා ගෙනහිල්ලා දුම්රිය මාර්ගයට එකතු කරන්න. නැති නම් තවත් පරක්කු වෙනවා. හඳුනාගත් ස්ථාන හදන එක තමයි ප්‍රශ්නය. දැනටත් උඩරට දුම්රිය මාර්ගයේ වැඩ සියයට 60-70 ක් අවසන්. ගම්පොළ සහ නාවලපිටියේ අතර ඉක්මනින් හදා ගත්තොත් අපට පුළුවන් බදුල්ල දක්වා ධාවනය කරවන්න. දෙපාර්තමේන්තුවෙන් කරන්න පුළුවන් ටික කරගෙන යනවා. අනිත් ටික ඉන්දියාවෙන් කෙරෙන්න ඕනෑ.කිසිම අවස්ථාවක ඉදිකිරීම් නතර කරලා නැහැ.”
මේ අතර ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර ප්‍රකාශ කළේ එම සැලසුම් වාර්තා දැනටමත් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
ඒ අනුව ස්ථාන කීපයක වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

