රෝෂන් තුෂාර
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරට රඳවා ප්‍රශ්න කෙරෙන මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සිදු කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, ඝාතනය කිරීම්,පාතාලයට අවි ආයුධ විකිණීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ ජාලයක ප්‍රධාන සැකකරුවකු වන බවට සාක්ෂි රැසක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ඉකුත්දා පැවසීය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට රහසේ වාර්තාවක් ගොනු කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව දින 90ක් රඳවා ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පද්මේ යන අය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විමර්ශන මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවද පැවසීය.
විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් රහස්‍ය බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කියා සිටියේ සැකකරු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයෙන් අවි ආයුධ රැස් කිරීම් හා පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවමින් අපරාධ සිදු කර ඇති බවට සාක්‍ෂි අනාවරණය වන බවය.
අවි ආයුධ රැස් කිරීම , සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවීම,නීතිය හා සාමය ආරක්ෂා කරන උසස් පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම.රාජ්‍ය සේවකයින් අධිකරණ සේවකයන් හා පොදු මහා ජනතාව භීතියට පත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවක් තුළදී සංජීව නමැති අය ඝාතනය කිරීම සැලසුම් කිරීම, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුද්ගලයා බවට සැලසුම් සකස් කිරීම ඇතුළු අපරාධ රැසක ප්‍රධානියා බවට මෙම කරුණු මගින් අනාවරණය වී ඇති බවද වැඩිදුරටත් සඳහන්ය.
එම චෝදනා සනාථ කිරීම සඳහා වන නඩු භාණ්ඩ පනස් එකක ලේඛනයක් සහ සාක්‍ෂිකරුවන් 32 කගේ ලේඛනයක්ද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
ජංගම දුරකථන හා ඊට අදාළ සිම්පත් සහ තවත් නඩු භාණ්ඩ රැසක ලේඛනයක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නිරීක්ෂණයක් සිදුවී ඇත්දැයි විමසා සිටියේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු සම්බන්ධයෙන් නිරීක්ෂණ සටහන් තබා ඇති බවත්, අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මෙම වාර්තා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී විය හැකි බැවින් නඩු වාර්තාව සේප්පුවේ බහාලීමට නියෝග කරන ලෙස රහස් පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
අදාළ නඩු වාර්තාව සේප්පුවේ තැබීමට නියෝග කළ අතිරේක මහේ ස්ත්‍රාත්වරයා විමර්ශන ඔක්තෝබර් 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.