මනෝප්‍රිය ගුණසේකර
“දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අසමත් වීමෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු රජය ජනතාවගේ සහ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට නියෝගයක් දෙන්නැයි ඉල්ලා මහනුවර නීතිඥවරයකු ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජූලි 15 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අමාත්‍ය මණ්ඩලයට සහ ආපදා කළමනාකරණ කමිටුවට නියම කළේය.
අදාළ නියෝගය සහිත නොතීසිය අමාත්‍ය මණ්ඩලයට ආපදා කළමනාකරණ කමිටුවට භාරදෙන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කළේය.
කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොළ, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ නමුත් වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතූවෙන් ආපදා තත්ත්වයෙන් සිදු වූ විනාශය උත්සන්න වූ බවද පෙත්සමේ සඳහන් කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ.
මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකු වන කීර්ති බණ්ඩාර කිරිදෙන ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.
මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව තම නීතිඥ කාර්යාලය පිහිටා ඇති බවත් පසුගිය දිනවල ඇතිවූ “දිට්වා’ සුළි කුණාටුව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවත් සඳහන් කරන පෙත්සම්කරු එහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වීම හේතුවෙන් තම වෘත්තියට විශාල පාඩුවක් සිදුවී ඇතැයිද සඳහන් කර ඇත.
විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදාහැරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොළ, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටී.
කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා ජූලි 15 වැනිදා පෙත්සම කැඳවන ලෙසද එදින අධිකරණයට කරුණු දක්වන ලෙසද අමාත්‍ය මණ්ඩලයට සහ ආපදා කළමනාකරණ කමිටුවට නියම කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සචින්ත රුද්‍රිගුගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.

