අංජුල මහික වීරරත්න
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයත් සමග කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 23ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 34ක් බවට පත් විය.
රජයේ පළමු කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී 10 වැනිදා පෙරවරුවේ සිදු කෙරිණ.
මෙම කැබිනට් සංශෝධනයේදී ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දැරූ බිමල් රත්නායකගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ඉවත් කර තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙක් නියෝජ්‍ය අමාත්‍ය ධුරවල අලුතින් දිවුරුම් දුන්හ.
2026 අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළ බව රජය සඳහන් කරයි. කැබිනට් සංශෝධනයෙන් අනතුරුව නව අමාත්‍යාංශවල අමාත්‍යවරු තිදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායකගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා ඉවත් කර ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබේ.
ඒ අනුව බිමල් රත්නායක ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහුගෙන් ඉවත් කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලකට ලබා දී ඇත.මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස දිවුරැම් දුන්නේය.
අනුර කරුණාතිලකගෙන් ඉවත් කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය මෙතෙක් ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහට ලබා දී ඇත.
මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද සෙනරත් විතාරණ, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් මහත්මා මහත්මීහු නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත් වූහ.
මීට අමතරව තවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර පහක වෙනස්කම් සිදු කෙරිණ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි ද නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටී. බී. සරත් නිවාස විෂයට අමතරව ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ.
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ මොහොමඩ් මුනීර් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ එරංග ගුණසේකර නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන්නේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ වෛද්‍ය හංසක විජයමුණිගෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඉවත් කෙරුණු අතර කෞෂල්‍යා ආරියරත්නට පැවරුණේ එම නියෝජ්‍ය අමාත්‍යාංශයයි.
ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය 2024 වසරේ නොවැම්බර් 18 වැනිදා පත් කෙරිණ. එහි සංඛ්‍යාව 22ක් විය. නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය ඉකුත් වසරේ නොවැම්බර් 21 වැනිදා පත් කෙරුණු අතර එහි සංඛ්‍යාව 29ක් විය.
ඒ අනුව ඊයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනා මෙසේ ය.
කැබිනට් අමාත්‍යවරු
01. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
02. අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
03. වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
01. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
02. ටී. බී. සරත් - නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
03. එම්. එම්. මොහොමඩ් මුනීර් - ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04. එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05. වෛද්‍ය හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
06. අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් සහ වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය
07. එච්. එම්. දිනිඳු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
08. යූ. ඩී. නිශාන්ත ජයවීර - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
09. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
10. එම්. එම්. අයි. අර්කම් - බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය