කැපකරු මාපිය රැකවරණ සඳහා නව නීතියක්


නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ අවශ්‍යතා ඇති සියලු‍ ළමයින් ආවරණය වන පරිදි කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  පැවසීය.

විකල්ප රැකවරණ අවශ්‍යතා ඇති ළමයිුන් ආවරණය වන පරිදි කැපකරු මාපිය රැකවරණය පිළිබඳ විධිමත් නෛතික ප්‍රතිපාදනයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවට හඳුනාගෙන ඇත. එබැවින්, කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇති පවුල්පාදක විකල්ප රැකවරණ ක්‍රමයක් වන පෝෂිත රැකවරණ (කැපකරු මාපිය ක්‍රමය) සංකල්පය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කැපකරු මාපිය රැකවරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

එමයෝජිත යාන්ත්‍රණය මඟින්, කැපකරු මාපිය රුකවරණය ස්ථාපිත කිරීම සහ දුරස්ථ මාපිය රැකවරණ සහාය යන ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ රැකවරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව, එම සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.