සුජිත් හේවාජුලිගේ
ශ්‍රීලංකන් එයාර් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේන මිය යෑමට පෙර කිසියම් හඳුනාගත නොහැකි ඖෂධ වර්ගයක් හෝ උත්තේජකයක් ගත්තේද යන්න ගැන මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ අවධානය යොමුව ඇත.
චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර තිබූ ස්ථානයෙන් බෙහෙත් වර්ග කිහිපයක් සහ කොළයක ඔතන ලද හඳුනා නොගත් ඖෂධ වර්ගයක් සොයාගෙන ඇත.
හඳුනා නොගත් ඖෂධ වර්ගය කිසියම් උත්තේජකයක් දැයි සැක මතුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම බෙහෙත් වර්ග සහ කපිල චන්ද්‍රසේන මහතාගේ රුධිර සාම්පලයක් අධිකරණයේ නියෝග අනුව රජයේ රස පරීක්ෂකවරයාට දැනටමත් යොමු කර ඇත.
එම පරීක්ෂණයේදී මෙම ඖෂධය මත්ද්‍රව්‍යයක් දැයි පැහැදිලිවම තහවුරු කර ගැනෙනු ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එසේම කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී ඔහුගේ ගෙල ආසන්නයේ තිබී සොයාගත් රෙදි පටි කොටස් දෙකද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත. ඒවා යොමු කර ඇත්තේ එම කොටස් දෙක එකම පටියකට අයත් දැයි සෙවීම සඳහා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විශේෂ ප්‍රමුඛත්වය දක්වා පරීක්ෂණ කරගෙන යන බව දැනගන්නට ඇත. මේ අතර ඇතැම් රසායන ද්‍රව්‍යවල හිඟය හේතුවෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා මතුව ඇති බව වාර්තා වේ.

