කච්චතිව්වලට අත දාන්න ප්‍රාන්ත ආණ්ඩුවලට බෑ - අමාත්‍ය විජිත හේරත්


නිශාන්ත කුමාර බණ්ඩාර

කච්චතිව් දූපත සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමේ හැකියාවක් ප්‍රාන්ත ආණ්ඩුවලට නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය පැහැදිලි තීරණයක් ගෙන තිබෙන නිසා එහි අයිතිය තවමත් පවතින්නේ ශ්‍රී ලංකා රජය සතුව බවද ඔහු කීවේය.

සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම අනුව එහි නීත්‍යනුකූල වගකීම 1974දී ශ්‍රී ලංකාවට පැවරී තිබේ. සාමාන්‍යයෙන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම කච්චතිව් මාතෘකාවක් වන අතර එවැනි ප්‍රකාශ පිළිබඳ කිසිදු තැකීමක් සිදු කළ යුතු නැතැයිද හෙතෙම කීය.

යම් රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ඉන්දීය මධ්‍යම රජය සමග සාකච්ජා කිරීම එදා සිට සිදුවූවක් බව පෙන්වා දෙන අමාත්‍ය විජිත හේරත් මේ සම්බන්ධ ප්‍රශ්නයක් මතු වුව හොත් මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද කීය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍යයේ ආරාධනාවකට අනුව පසුගියදා එහි චාරිකාවක නිරත විය. බෙලරූස් ජාතික අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධානය කළ ව්‍යාපාරික හා සංචාරක වටමේස සාකච්ජාවකට ද අමාත්‍ය විජිත හේරත් සහභාගිවීමට නියමිතය.මෙහිදී ශ්‍රී ලංකාව හා බෙලරූස් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනු ඇත.