සුජිත් හේවාජුලිගේ
රජයේ ඇතැම් නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොමිෂන් සභා වෙබ් අඩවියේ මහජන ප්‍රවේශය හරහා ලබාගෙන - එම නිලධාරීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් කටයුතු කිරීම වැළැක්වීමට නව නීති සංශෝධන ගෙන එන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එවැනි ක්‍රියා වැළැක්වීමට නව පනතේ ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන නැතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. අල්ලස් කොමිසමේ වෙබ් අඩවියෙන් දේශපාලනඥයන් ඇතුළු ඇතැම් නිලධාරීන්ගේ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් කටයුතු කිරීමේ සිද්ධීන් ගණනාවක්ම පසුගිය කාලයේ දී වාර්තා වුණු බව කොමිසම පවසයි.
නිලධාරීන්ගෙන් ගන්නා වත්කම් බැරකම් ප්‍රකාශ මහජන ප්‍රවේශයට යොමු කරන්නේ හඳුනාගත් අංක ගිණුම් අංක සහ පෞද්ගලිකත්වයට බලපෑම්වන තොරතුරු ඉවත්කර නමුත් සමහර අවස්ථාවල දී ඇතැම් නිලධාරීන්ගේ ඇතැම් තොරතුරු මහජන ප්‍රවේශය ඔස්සේ ලබාගෙන පුද්ගලිකත්වයට හානි වන ආකාරයෙන් ප්‍රසිද්ධ කෙරෙන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි කොමිසමේ නිලධාරීහු සඳහන් කරති.
මේ අතර ඔන්ලයින් මාර්ගයෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම තොරතුරු හැකරුන් අතට පත් කර ගැනීමට අවස්ථාවක් නැති බව කොමිසම පවසයි.
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම නිලධාරීන් මෙම මස 30 වැනිදාට පෙර එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව පවසන කොමිසම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින නිලධාරීන්ගෙන් දඩ මුදල් අය කර ගැනීම හෝ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම කරන බවද සඳහන් කරයි.
එසේම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත සහ රේගු ආඥා පනතේ 115 වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී රේගු අනුනියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන් ද සිය වත්කම් හා බැරකම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු කාණ්ඩයක් ලෙස නම් කර ඇත.
තොරතුරුවල ආරක්ෂාව සඳහා සෑම පූර්වාරක්ෂාවක්ම ගෙන ඇති අතර විද්‍යුත් ප්‍රකාශන පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා බහු ස්ථර ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇතැයි අල්ලස් කොමිසමේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
නිතිපතා ආරක්ෂක විගණන භාවිත කරමින් සියලුම වත්කම් සහ වගකීම් දත්ත ආරක්ෂා කරන බවත් අනවසර ප්‍රවේශයන් හෝ සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රකාශකයන්ගේ තොරතුරුවල රහස්‍යභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාව බව කොමිෂන් සභාව පවසයි.

