සුජිත් හේවාජුලිගේ
කැසිනෝ සඳහා යොමුවෙන පිරිසෙන් සියයට 60-70 අතර ප්‍රමාණයක් මාර්ගගත කැසිනෝ සඳහා යොමුවීමෙන් රජයට කෝටි ගණනින් බදු මුදල් අහිමිවෙන තත්ත්වයක් මතුව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.
මාර්ගගත කැසිනෝවලින් බදු අදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තවම නැතැයි ද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු එම කාරක සභාවට පසුගිය දා දැනුම් දුන්හ.
කැසිනෝ ශාලාවල සුළු පිරිසක් ඔන්ලයින් ක්‍රියාදාමයේ නිරත වෙන බව පෙන්වා දුන් සභාපතිවරයා මාර්ගගතව කරන සූදු ක්‍රීඩා සඳහා සහභාගි වෙන පිරිස ඉතාමත් විශාල බවද ප්‍රකාශ කළේය. බලපත්‍ර සහිත කැසිනෝ හඳුනාගත හැකි නමුත් මාර්ගගතව කරන සූදු ක්‍රීඩා ක්‍රියාත්මක වෙන ආකාරය හඳුනාගැනීමේ අපහසුතාවක් ඇති බව ද ඔහු කීවේය.
මේ අතර සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ ප්‍රමාදයක් පවතින හෙයින් ලබන වසරේ ජුනි 30ට පෙර එය පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත.
අධිකාරිය පිහිටුවීමට විදේශීය විශේෂඥ දැනුම ගන්නා ලෙසට ද කමිටුව නිර්දේශ කළේය.
මෙම තොරතුරු අනාවරණය වූයේ මාර්ගගත කැසිනෝ සඳහා වන රෙගුලාසි සහ රාමුව සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පසුගිය දා රැස්වූ අවස්ථාවේදීය.