ඒස් පවර් සමාගම මණ්ඩලයට විදුලිය දී කෝටි 681ක් ලාබ ලබලා


දයාසීලි ලියනගේ  

ලංකා විදුලිබල මණ්ඩලය ඒස් පවර් ඇඹිලිපිටිය පෞද්ගලික සමාගමෙන් විදුලිය ලබා ගැනීම හේතුවෙන් එම සමාගම 2016 වර්ෂයේ සිට 2021 දක්වා කාලය තුළ රුපියල් කෝටි 681ක ලාභයක් උපයාගෙන ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. 

මෙම පෞද්ගලික ආයතනය හා ලංකා විදුලි බල මණ්ඩලය අතර විදුලිය ලබා ගැනීම සඳහා පැවැති ගිවිසුම් කාලය දීර්ඝ කිරීමෙන් පසු මෙම ලාභය උපයා ඇති බව අනාවරණය කරගෙන ඇත.  


මෙම බලාගාරය මිලදී ගැනීමට වාසිදායක තත්ත්වයක් තිබුණත් විදුලි බල මණ්ඩලය එය පැහැර හැර තිබෙන බවද එම වාර්තාව අනාවරණය කරයි. වර්ෂ 2015 දී විදුලි ඒකකයක් රුපියල් 15.63 බැගින් වූ මුදලකට ලංකා විදුලි බල මණ්ඩලය මෙම ආයතනයෙන් විදුලිය ලබාගෙන ඇති අතර 2021 වනවිට ඒකකය රුපියල් 25.22 බැගින් වූ මුදලකට මිලදී ගෙන ඇත.