එස්.ටී.එෆ්. මාලි ව්‍යාපෘතියට වැය කළ කෝටි 177 ක් වතුරේ


නිමන්ති රණසිංහ

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සංග්‍රාමික බළඇණියක් මාලි රාජ්‍යයේ  ස්ථාපනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියට පසුගිය වසරේදී රුපියල් කෝටි 177 කට වැඩි මුදලක් වැය කර තිබුණද එම වර්ෂය අවසාන වන විටත්  ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවක සඳහන්වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අවි ආයුධ, සන්නද්ධ රථ, ප්‍රවර්තන වාහන, සන්නිවේදන උපකරණ ඇතුළු අනෙකුත් උපකරණ මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතියද ලැබී තිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.


මේ සඳහා නිලධාරීන් 160 දෙනකු සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගෙන පුහුණුවීම් පවා ලබාදී තිබූ බව විගණන  අංශ පවසයි.


මේ අතර එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා රැගෙන යෑමට මිලදී ගත් විවිධ වාහන 42 ක් 2017 වර්ෂයේ සිට මේ දක්වා  කටුකුරුන්ද , හොරණ සහ ගෝනහේන  විශේෂ කාර්ය බලකා කඳවුරවල   ස්ථානගත කර නඩත්තු කටයුතු කරමින් පවතින අතර මේ සඳහා රුපියල් කෝටි  178 ක් වැය කර ඇතැයිද  වාර්තා වේ. මේ වාහන සහ උපකරණ ප්‍රයෝජනයකට ගෙන නොතිබීම පිළිබඳව ද  විගණන විමර්ශනවලදී අවධානය යොමුවී ඇත.


මේ තොරතුරු  සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 2022 වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.