නිරෝෂාන් ප්‍රේමරත්න
අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම්වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් 150,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බව ලිංගාශ්‍රිතව බෝවන රෝග මර්දන ඒකකය මගින් ප්‍රකාශිත අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
එම ඒකකය මගින් ප්‍රකාශයට පත් කොට ඇති පරිදි නිල වශයෙන් හඳුනාගෙන ඇති ගණිකාවන් 35,000 ක්ද, පිරිමි සමලිංගිකයන් 80,000 ක් ද, ඖෂධ එන්නත් කර ගන්නා පුද්ගලයන් 3011 ක්ද සිටිති. මීට අමතරව වෙරළ ආශ්‍රිතව කටයුතු කරන පිරිමි ළමයි (Beach Boys) 6000 ක්ද ලිංගික පරිවර්තනයන්ට ලක් වූ කාන්තාවන් 3500ක්ද සිටිති. මෙම පිරිස් විසින් සිදුකරන අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගින් එච්.අයි.වී. රෝගය පැතිරීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය චමල් සංජීව පවසයි.
දැනට දිවයින පුරා එච්.අයි.වී. ආසාදිතයන් ආසන්න වශයෙන් හයදහසකට අධික ප්‍රමාණයක් ජීවත්වන අතර මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ජීවත්වෙති. මෙයට අමතරව ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර මාතර බදුල්ල යන දිස්ත්‍රික්කවලද ලිංගාශ්‍රිත බෝවන රෝගවල ව්‍යාප්තියක් පෙන්නුම් කෙරේ.
ලිංගික පරිවර්තනයට ලක් වූ කාන්තාවන් අතර සිපිලිස් හෙවත් උපදංශ රෝගී තත්ත්වය බහුලව ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.
මෙවන් තත්ත්වයක පාසල් පද්ධතියෙහි ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වැදගත් වන අතර, විකෘති ලිංගික ක්‍රියා ප්‍රවර්ධනය සඳහා අනුබලදීම හෝ ඒ සඳහා උපකාරී වන අන්දමට කටයුතු නොකිරීම සඳහා රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවිය යුතු බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

