එක්ස්ප්‍රස් පර්ල් දත්ත මැකීම සොයන්න ජාත්‍යන්තර පරීක්ෂණයක්


රෝෂන් තුෂාර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු කිරීමට අවසරය ලබාගෙන මහා විනාශයක් සිදුවීමට ඉඩහැර අපරාධමය වරදක් සිදු කළ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. 

නැවෙහි ඊ මේල් පද්ධතිය කිසියම් අයකු විසින් හිතා මතාම මකා දමා ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලය කළ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති හෙයින්, දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවෝ කවරහුද? එසේ කර ඇත්තේ කාගේ වුවමනාවට ද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජයගත්  තීරණය සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමතිය ලැබී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි ඉදිරියේ’ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි. අන්තරාවක් තිබූ නැවෙහි දත්ත පද්ධතිය මැකුවේ කවුරුන්ද ඊට දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයත් තිබේද? අපරාධකරුවන් කවුරුන්ද යන්න සනාථ කිරීම සඳහා මෙම ජාත්‍යන්තර පරීක්ෂණය සිදු කරන බවද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ගිනිගත් නැවේ ඊමේල් පද්ධතිය මකා දැමූවේ යැයි සැකයට දේශීය නැව් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂවරයා හා සහකාර අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් විමර්ශන සඳහා පූර්ණ සහාය දක්වන බවට අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට කොට ඇත.

ඊමේල් පද්ධතිය මකා දැමීමට සැකකරුවන් කටයුතු නොකළ බවට ඔවුන්ගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  ඊමේල් මකා දැමුවේ නැත්නම් එම ඊමේල් පද්ධතිය යළි අනාවරණය කරගත හැකි “නෑස් යුනිට්” එක පැමිණිල්ලට ලබාදිය හැකි බවය. 

මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසියට මෙම නෑස් යුනිට් එක තවමත් ලැබී නොමැති බවද හෙතෙම පැවසීය. මේ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ පරිගණක යෙදුමේ පිටපතක් මෙම 30 දිනට පෙර  රහස් පොලිසියට ලබා දෙන ලෙසට දේශීය නැව් සමාගමට නියෝග කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා විසින් ආන්තරාවක් හටගෙන ඇති බවට නැව ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනයට යොමු කළ ඊමේල් පණිවිඩ මකා දැමීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

මෙම පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නෞකාවේ නෞකාවේ කපිතාන්වරයා, දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ලංකා සමාගම හා එහි නියෝජිතයන් අටදෙනකු නම් කොට ඇත. 

2021 මැයි 19 වැනි දින ගිනි ගැනීමට ලක් වූ එම්.වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතා මතාම මකාදමා කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට ඩොලර් බිලියනයක වන්දියක් වසරක් ඇතුළත ගෙවන ලෙසට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වන්දි මුදලින් කොටසක් වන ඩොලර් මිලියන 250 ක් සැප්තැම්බර් 23 ට පෙර ගෙවන ලෙස නෞකාවේ විදේශීය සමාගම වෙත නියෝග කොට තිබූ නමුත් අදාළ අදාළ පෙත්සම් පසුගිය 25 වැනි දින කැඳවූ අවස්ථාවේ දී නෞකාවේ දේශීය සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින්  සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 300ක මුදලක් මේ වන විට ගෙවා ඇති බවය. තම සමාගමට ගෙවිය හැකි මුදල එපමණක් බවත් ඊට වඩා වැඩි මුදලක් ගෙවීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් කර ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගවලට අනුව වන්දි කොමිසම සහ පාරිසරික හානි ඇගයීමේ කොමිසම ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කෙරෙන බව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල් ගෙවීම පැහැර හැරීමෙන් වගඋත්තරකාර සමාගම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාළ නෞකා අනතුරින් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිමය සීමාව තුළ  හැකි උපරිම දේ සිදු කළ බවය.

ඉන් ඔබ්බට ගොස් මෙම වන්දි අය කර ගැනීමේ ක්‍රියාදාමය ඉටුකිරීම විධායකයේ වගකීමක් බවත් පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය  වගඋත්තරකාර සමාගමේ අධ්‍යක්ෂවරුන් සිරභාරයට පත් කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන බව පෙන්වා දී ඇති අතර වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබලා ලබන ජනවාරි මස 26 වැනිදා කරුණු දක්වන ලෙස පසුගියදා (25දා) නීතිපතිවරයාට නියම කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි, පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ධීවර ප්‍රජාව විසින් ගොනු කොට ඇති අතර හිටපු ඇමති නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.