නිරෝෂාන් ප්‍රේමරත්න
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරයි.
දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුර සහ පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වීම් සහ පාසල් දරැවන්ගේ හා කාර්ය මණ්ඩලවල අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසා සිටී. එමෙන්ම 12 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
කෙසේ නමුත් මෙම විභාග ද්විත්වයම ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී අවධාරණය කළාය.
මේ අතර තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භ කිරීම දෙසැම්බර් මස 16දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය. රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. කෙසේ නමුත් පාසල් ආරම්භක දිනයේ නැවත වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

