උතුරේ දේශපාලන පක්ෂ නව සන්ධානයත් හබක්


නිරෝෂණ කුමාර

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඒකරාශී වී පිහිටුවීමට සූදානම් වූ නව සන්ධානය දෙදරා ගොස් ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට සම්බන්ධ වීමට සූදානම් වූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ බල අරගලය මීට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරේ දේශපාලන පක්ෂ එම සන්ධානයේදී තමන්ට වැඩි බලතල ලබා දිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. මීට පෙරද උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධාන ගතවී දෙමළ ජාතික සන්ධානය පිහිටුවා ගත්තේය.

එහි නායකත්වය දැරූ හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්ගේ අභාවයත් සමඟ එම සන්ධානයේ නායකත්වය වෙනුවෙන් සීතල යුද්ධයක් හට ගත් බව එම ආරංචි මාර්ග කීය. 

මෙහිදී වැඩි බලයක් හිමිවූ ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එයින් ඉවත්වී පසුගිය මහ මැතිවරණය සඳහා වෙනම තරග කළේය. මෙම සන්ධානයට ද ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය යළි එක්වීමට සාකච්ඡා කළ බව එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එමි. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය.