උණ, සෙම්ප්‍රතිශ්‍යාව තිබේ නම් දරුවන් පාසල් යවන්න එපා - විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


සුජිත් හේවාජුලිගේ 

උණ, සෙම්ප්‍රතිෂ්‍යාව හා කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඩෙංගු, චිකුන්ගුන්යා හා ඉන්ෆ්ලූවන්සා ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් ගොස් දුවන්න පනින්න ගියහොත් හෘදය වස්තුවට හානිවී (මයෝකාඩා තත්වයක් ඇතිවී) ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඩෙංගු හෝ චිකුන්ගුන්යා යැයි සැක නම් එවැනි අවස්ථාවලදී දරුවන්ට මදුරු දැලක් භාවිත කිරීම වැදගත් බවත් එමගින් සෙසු අයට බෝවීම වළක්වා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ඩෙංගු හා චිකුන්ගුන්යා දෙකම තිබෙන රෝගීන්ට ස්වාභාවික දියර ආහාර ලබාදීම ඉතා වැදගත් බව පවසන දීපාල් පෙරේරා, ඩෙංගු රෝගීන්ට රතු සහ කළු පැහැති ආහාර දීමෙන් වළකින්නැයිද ඉල්ලීමක් කරයි.

ඩෙංගු රෝගය තිබෙද්දී වෙහෙස වී කටයුතු කළ හොත් විවිධ සංකුලතා ඇති වී ජිවිත පවා හානි විය හැකි බව ඔහු සඳහන් කළේය.

පාචනය රෝගී දරුවන්ද වැඩි වශයෙන් වාර්තා වන බවත් එවැනි දරුවන්ට බැදි හාල් කැඳ, ලු‍ණු කැඳ හා කෙසෙල් වැනි දේවල් ලබාදීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

පාචන රෝගීන්ට තෙල් සහිත බටර් චීස් දීමෙන් වළකින්නැයිද ඔහු ඉල්ලීමක් කළේය. බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන බව සෞඛ්‍ය අංශ පවසයි. රට පුරා පැතිර යන නව කොවිඩි ප්‍රභේදය ආසාදනයවීමෙන්  දැනට දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ අතර සෙම්ප්‍රතිෂ්‍යා රෝගීන්ගෙන් සියයට නවයත් දහතුනත් අතර සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව පෙනී ගොස් ඇතැයි වයඹ වෛද්‍ය පීඨයේ  මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පැවසීය.

නව කොවිඩ් ප්‍රභේදයේ බලපෑම අඩු බැරෑරුම් තත්ත්වයක පැවතුණත් වයස 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දැඩි ලෙස පරිස්සම් විය යුතු බවද ඔහු සඳහන් කළේය.