සුජිත් හේවාජුලිගේ
ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගය යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉරිදා ලංකාදීපයට පැවසීය.
ගංවතුරින් පේරාදෙණිය පාලමට විශාල හානියක් වී ඇති බවත් පාලම පිළිසකර කිරීම අද විශාල අභියෝගයක් බවත් ඔහු සඳහන් කළේය. පේරාදෙණිය පාලම අලුත්වැඩියා කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ ඉංජිනේරුවන් ඇතුළු පිරිසක් පේරාදෙණියට ගොස් ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පළමු පියවර ලෙස එම පාලමේ සිරවී ඇති විවිධ අපද්‍රව්‍ය නාවික හමුදාව යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
දුම්රිය මාර්ගයේ ඉහළ ප්‍රදේශවල දුම්රිය අටක් පමණ සිරවී ඇති බවත් ඒවා නැවත රැගෙන ඒමට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රසන්න ගුණසේන පැවසීය.
කෙසේ වෙතත් එම අභියෝගය භාරගෙන සියලු කටයුතු කරගෙන යන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා රඹුක්කන මහනුවර දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම ප්‍රධාන අරමුණ බවද ප්‍රකාශ කළේය.

