ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙයි - තෙල් මිල ඉහළට, කොටස් වෙළෙඳපොළ පහළට


ඒ.එෆ්.පී.

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඉකුත් 13 වැනිදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝලීය තෙල් මිල ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළෙඳපොළ පහත වැටී තිබේ.

ඊශ්‍රායලය ඉරානයට පහරදී ඇත්තේ එරට න්‍යෂ්ටික බලාගාර සඳහා යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා ප්‍රධානීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඉලක්ක කර ගනිමින් බව පැවසේ.

 
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරාන් අගනුවර නේවාසික ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් කිහිප දෙනෙකු මිය ගිය බවය. ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රධානී හොසේන් සලාම් සහ ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහමඩ් බාගේරි ඇතුළු ඉහළ පෙළේ ඉරාන හමුදා නායකයෝද ද ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ. ඊට අමතරව, තෙහෙරාන් අගනුවර ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන් දෙදෙනෙකු ද මිය ගිය බව වාර්තා වේ.
 
මෙම හමුදා මෙහෙයුම් ඔපරේෂන් රයිසිං ලයන්’ යනුවෙන් නම් කර තිබේ.ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඊශ්‍රායලය දෙසට නියමුවන් රහිත ඩ්‍රෝන යානා සියයකට වැඩි ගණනක් එවූ නමුත් උඩු ගුවනේදී ඒවා විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් වී ඇත. 
 
මේ වන විට ඊ්ශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් නුවර මර්මස්ථානවලටද පහර දීම හේතුවෙන් දෙරට අතර ඇති වෙන යුද්ධය ලෝක සාමයට මෙන්ම ආර්ථිකයටද බලවත් බලපෑමක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති. 
 
ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ එරට ගුවන් කලාපය වසා දමමිනි. ප්‍රහාරය එල්ල වෙද්දී ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල්‍් කාට්ස් රට පුරා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේය.
 
ඊශ්‍රායලය ඉරානයට පහර දෙද්දී, ඉරානය එරට ටෙහෙරාන් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැම්මේ, ගුවන් යානා පිටත්වීම අත්හිටුවමිනි.
 
ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරනු ලැබූ හමුදා මෙහෙයුමකට එසැණින් සෘජු ප්‍රතිචාර දැක් වූ පළමු අවස්ථාව මෙය යැයි වාර්තා වේ. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරානයට එරෙහිව කළ මෙම මෙහෙයුම් ඊශ්‍රායලයේ ඉතිහාසයේ තීරණාත්මක මොහොතක්’ ලෙස ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලය මේ අයුරින් ඉරානයට ප්‍රහාර එල්ල කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ගෝලීය වශයෙන් තර්ජනයක් බව පෙන්වා දෙමිනි. කෙසේ නමුත්, ප්‍රහාරය එල්ල වනවිටත්, ඉරානය සහ ඇමෙරිකාව අතරේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.
 
මේ අතර, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ ඇමෙරිකාව මෙම ප්‍රහාරයට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවුණු බවය. කෙසේ නමුත් ඉරානය මෙය ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි.මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා කඳවුරැ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවට ද ඉරානය තර්ජනය කර ඇත.