සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාව දීමෙන් පසුව ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.
පසුව අදාළ නිලධාරියා පොහොය දිනයක වෙනත් ස්ථානයක සාකච්ඡා කිරීමට යෝජනා කර ඇති අවස්ථාවේ දී එම ආයෝජකයන් එය ප්‍රතික්ෂේප කර ඇත.
මේ සිද්ධිය වූයේ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් රජයේ අනුමතිය ලබා ගැනීමට අමාත්‍යාංශ උසස් නිලධාරියෙකු හමුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී බව එම ජපන් ආයෝජකයන් පිරිස සම්බන්ධීකරණය කළ රාජපුත්‍ර සමූහ ව්‍යාපාරයේ සභාපති සජීව් රාජපුත්‍ර කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“ඇත්තෙන්ම මට ඕන වුණේ මේ රට වෙනුවෙන් මේ වටිනා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒක ක්‍රියාත්මක කරලා මාර්ග අනතුරුවලින් මියයන මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න. මේක මටම දෙන්න කියලා දෙයක් නැහැ. වෙන කවුරුහරි මේ වැඩේ ක්‍රියාත්මක කළත් කමක් නැහැ. මම මේ වැඩපිළිවෙළ රජයට ඉදිරිපත් කරන්න සූදානම්. ක්‍රියාත්මක කරන නොකරන එක ඒගොල්ලන්ට අයිති වැඩක්. මම මේ වැඩේට ඉදිරිපත් වුණේ රට ගැන හිතලා බොහොම සද්භාවයෙන්” යැයි ඔහු එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොදීමෙන් තමා මෙන්ම ජපන් ආයෝජකයන් පිරිස දැඩි අපහසුතාවට පත්වූ බවත් එම ජපාන ආයෝජක පිරිස මෙහි කැඳවීමට සහ නවාතැන් සැපයීමට තමාට ලොකු පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සජීව් රාජපුත්‍ර ප්‍රකාශ කළේය.
මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ වසර අටක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වුණු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.