ඉහළ තනතුරුවලට අයථා ලෙස පැමිණි සහ උසස්වීම් ලැබූ දහයකට නීතිමය පියවර


සුජිත් හේවාජුලිගේ

පසුගිය ආණ්ඩු සමයේ දී වැරදි ආකාරයට පත්වීම් සහ උසස්වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැමුන්ට ස්ථාන මාරු ලබා දීමට ද රජයේ අවධානය යොමුව ඇත. මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන  මුදල්  අවභාවිතාව සහ  බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතින බව දැනගන්නට ඇත.

ඇතැම් නිලධාරිනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ද පසෙකට තල්ලු‍ කර දමමින් ඉතා පහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණි අය වන අතර ඔවුන්ගේ පරිපාලන දැනුම ද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් තිබේ.

මෙම අනිසි පත්කිරීම් හේතුවෙන් පසුගිය කාලයේ දී  අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂ පලපුරුදුකම් ඇති ජ්‍යෙෂ්ඨතම පුද්ගලයන් කලකිරීමෙන් නියමිත කාලයට පෙර විශ්‍රාම ගොස් ඇත. මේ අතර පසුගිය සමයේ දී  දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලැබූ සහ උසස් වීම් ලැබූ නිලධාරි නිලධාරිනියන් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ ද කරුණු සොයයි.