ඉෂාරාට පොත දුන් සැකකාර නීතිඥවරියගේ පාතාල සබඳතා එළියට


ගයාන් සූරියආරච්චි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකා ඉෂාරා සෙව්වන්දි යන අයට ගිනි අවිය සඟවාගෙන යාම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපතක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතීඥවරිය 2023 වසරේදී මැඩගස්කර පොලිසිය විසින් එරටදී අත්අඩංගුවට ගන්නා ලද සංවිධානාත්මක අපරාධකරුවන් වන සලිදු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිඳු සහ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තන් වෙනුවෙන් එම රටට ගොස් ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැනට විදේශ රටක සැඟවී සිටින සංවිධාන අපරාධකල්ලි සාමාජික ‘දරූන්‘ නමැත්තා විසින් එම මුදල සැකකාර නීතිඥවරියට ගෙවනු ලැබ ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාර නීතිඥවරිය වසර 2 ක පමණ කාලයක් තිස්සේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘දරූන්‘ නමැත්තා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් දරූන් නමැත්තාගේ ඉල්ලීම පරිදි සැකකාර නීතිඥවරිය තවත් නීතිඥවරුන් දෙදෙනකු සමග 2023 වසරේදී මැඩගස්කරයට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් දැනට සිදුකරනු ලබන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර නීතිඥවරිය මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ජාලයේ සිටින අපරාධකරුවන් රැසක් සමග සම්බන්ධතා පවත්වා ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකාර නීතීඥවරිය ඉකුත් (28) අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.

පාතාල සාමාජික ‘දරූන්‘ නමැත්තාගේ ඉල්ලීම පරිදි සැකකාර නීතිඥවරිය නඩු විධාන සංග්‍රහය පිටපතක්, නීතිඥවරුන් භාවිත කරන ටයි පටි සහ නීතිඥවරුන් පලඳින කබාය ඇයගේ මුදල්වලින් මිලදී ගෙන තිබූ පොලිසිය පවසයි.

පාතාල සාමාජික දරූන් නමැත්තාගේ ඉල්ලීම පරිදි සැකකාර නීතිඥවරිය නීතිඥ හැඳුනුම්පතේ සහ නීතිඥවරුන්ගේ මෝටර් රථයට අලවන ස්ටිකරයේ ඡායාරූප වට්ස්ඇප් මාර්ගයෙන් දරූන් නමැත්තාට යවා ඇතැයි පවසන අතර දරූන් නමැත්තා විසින් ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත් සහ වාහනයට අලවන ව්‍යාජ නීතිඥ ස්ටිකර් සකස් කර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකා ඉෂාරා සෙව්වන්දිට ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර නීතිඥවරියට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවත් පොලිසිය කියයි.

සංවිධාන්තමක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා ය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් විදෙස්ගතව සැඟව සිටිමින් යෙදූ පුළුල් සැලසුමකට අනුව මෙම ඝාතනය සිදුකර තිබූ අතර එම සැලසුමේ මෙරට මහ මොළකාරිය වූයේ මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි ය.

කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු අපරාධකරුවන් පස් දෙනකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු භාරයට ගැනීමෙන් සහ ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගැනීමෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව වාණිජ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් නීතිඥවරිය සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේ ඇයගේ නිවෙසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය ලබාදී තිබුණි.

සැකකාර නීතිඥවරිය ලබාදුන් නීතිඥ කබාය, ටයිපටි, ස්ටිකර් ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ප්‍රවාහන කළ බව කියන වයස්ගත පුද්ගලයකු සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශය නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.