ඉෂාරා සෙච්චන්දි අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක


සුදර්ශනි කෝණාර

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම විමර්ශන කරමින් පවතින බවත් පසුගිය දිනවල ලැබුණු තොරතුරු අනුව අදාළ ප්‍රදේශ පරීක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.

වෙනත් ක්‍රමවේද මඟින් ද එම විමර්ශන සිදු වෙන බවද එම විමර්ශන නවතා නොමැති බවද විමර්ශන සාර්ථකව සිදු කරගෙන යන බවද ඔහු පැවසීය. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව 20කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගත් බව පැවසූ ඔහු මේ වන විට සියයට 99ක්ම අත්අඩංගුවට ගෙන ඇති බව ද ප්‍රකාශ කළේය. 

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිටි සැකකරුවන් අතරින් ඉතුරුව ඇත්තේ ඉෂාරා සෙව්වන්දි පමණක් බවත් ඉන් පසු ඝාතනය මෙහෙයවීමට උපදෙස් ලබා දුන් විදේශවල සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කරන බවත් බොහෝ දුරට ඉදිරියේ දී ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සාර්ථක විය හැකි බවත් ඔහු තව දුරටත් පැවසීය.