ඉදිකිරීම් කර්මාන්තයේ ලක්ෂ 13කගේ රැකියා අවදානමේ


සුජිත් හේවාජුලිගේ

සිමෙන්ති සහ යකඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය මිල සියයට 35 කින් පමණ ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටී ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි.

මේ අතර ඉදිකිරීම් කර්මාන්තයේ සෘජුව සහ වක්‍රව නිරත ලක්ෂ දහතුනකට වැඩි පිරිසක් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන්  සිය ජීවනෝපාය අහිමිවීමේ අවදානමකට  මුහුණ දී සිටිති.

මේ තත්ත්වය යටතේ මහල් නිවාස රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ ගොඩනැගිලි මෙන්ම නිවාස ඉදිකිරීම් සැලකිය යුතු ප්‍රමාණයකින් අතරමග නැවතී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම, මැදපෙරදිග යුදමය තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම, නෞකා ගාස්තු හා රක්ෂණ ගාස්තු ආදියෙහි ඉහළ යෑම හමුවේ සියලු‍ම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ගණන් විශාල මුදලකින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති ඩරින්ටන් පෝල් පැවැසීය.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 -175  අතර ප්‍රමාණයකින්ද යකඩ මිල ගණන් සියයට 30 කින් පමණද වැඩි වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් රජයේ ඉදිකිරීම් සඳහා  ඇස්තමේන්තු කළ මුදල මෙන් තවත් ඒ හා සමාන මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය යටතේ ඉදිකිරීම් සමාගම් 2200 ක් පමණ සිටින බවත් ගොඩනැගිලි ද්‍රව්‍ය මේ සා විශාල ගණනකින් ඉහළයාම හමුවේ ඉදිකිරීම් කටයුතු කරගත නොහැකිව ඔවුන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් සඳහන් ය.